තථාගතයන් වහන්සේ පිරිනිවීමට සමීප කාලයේ දී ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස; අපි ස්ත්‍රිය කෙරෙහි කෙසේ පිළිපදින්නමෝ දැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ “අදස්සනං ආනන්ද” යනුවෙන් “ආනන්දය, තොපට ස්ත්‍රිය නො දැකීම යහපතැ”යි වදාළ සේක. ආනන්ද තෙරුන් වහන්සේ “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රිය දක්නට ලැබෙනවා නම් කෙසේ පිළිපදින්නමෝදැ”යි විචාළහ. තථාගතයන් වහන්සේ “අනාලාපෝ ආනන්ද” යනුවෙන් “ආනන්දය, දුටහොත් කථා නො කිරීම තොපට යහපතැ”යි වදාළ සේක. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රිය කථා කළහොත් කෙසේ පිළිපදින්නෙමුදැ”යි අනඳ හිමියෝ විචාළහ.
එකල්හි තථාගතයන් වහන්සේ “සති ආනන්ද උපට්ඨපේතබ්බා” යනුවෙන් සිහිය පිහිටුවා ගත යුතු යයි වදාළ සේක. සිහිය පිහිටුවා ගැනීම යයි කියනුයේ - “ඒථ තුම්හේ භික්ඛවෙ, මාතුමත්තීසු මාතුචිත්තං උපට්ඨපේථ, භගිනිමත්තීසු භගිනිචිත්තං උපට්ඨපේථ, ධීතුමත්තීසු ධීතුචිත්තං උපට්ඨපේථ.” යන අවවාද පරිදි,
මවු තරමේ ස්ත්‍රියක සමග කථා කරන කල්හි මවක යන සිත තබා ගෙන ද, නැඟණියක තරමේ ස්ත්‍රියක් සමග කථා කරන කල්හි නැඟණියක යන සිත තබා ගෙන ද, දුවක පමණ ස්ත්‍රියක සමග කථා කරන කල්හි දුවක යන සිත තබා ගෙන ද කථා කිරීම ය.
අති පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේගේ ශාසනාවතරණය පොතෙන් උපුටා ගත් කොටසකි. ධර්මදානය පිණිස බෙදා හරින්න. නිවැරදිව ධර්මය දැන ගන්න ධම්මපදය "facebook" පිටුව පරිශීලනය කරන්න..!

Lanka Newsweek © 2026